Friday, 16 September 2022

ඉතින් අපිත් විඳිමුද ජීවිතේ 😉❤️


ජීවිතේ කියන්නේ අපි විසින්ම සංකීර්ණ කරගත්ත ඒත් අපි හිතනවාට වඩා සරල දෙයක්. කතාවකුත් තියෙනවා නේ ජීවිතේ 10%ක් අපිට වෙන දේවල් සහ 90%ක් අපි ඒ දේවල්වලට ප්‍රතිචාර දක්වන විදියත් කියල. සමහර මිනිස්සු ආදර ප්‍රශ්න නිසා දුක් විඳිනවා, තවත් සමහරු එදිනෙදා ජීවිතේ ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද කියන ගැටළුවට මැදි වෙලා ඉන්නවා. අද නම් මම ලියන්න යන්නේ පළවෙනි කාරණේ ගැන. මට මේක ලියන්න ඕනේ කියලා හිතුනේ මම පෞද්ගලිකව ආශ්‍රය කරන මගේ යාළුහිතමිත්‍රාදීන් මාත් එක්ක බෙදා ගන්න අත්දැකීම් නිසා.

ආදරය කියන්නේ ජීවිතය ඇතුලේ එක කොටසක්. ඒත් අපි අපේ දෙමාපියන්ගෙන් පස්සේ අපේ ජිවිතයට එකතුවෙන විශේෂ චරිතය ඒ කියන්නේ පෙම්වතා හෝ පෙම්වතියගේ ආදරය මතම යැපෙන්න ගන්නවා. ඒ ආදරය අහිමි වුනොත් එදාට ජීවිතය නැති කරගන්න තැනට පත් වෙනවා.
ඒත් අපි හිතන්නේ නැති එක කාරණයක් තමයි ඇයි අපි නැතිව ඒ කෙනාට ඉන්න පුළුවන් නම් අපිට බැරි කියලා. ඇත්තටම මනුෂ්‍ය ජීවිතයක් ලබන්න ලොකු පිනක් කරන්න ඕන කියලා බුදුන් වහන්සේත් දේශනා කරලා තියෙනවා නේ. ඉතින් ඇයි අපි අපේ මේ ජීවිතේ තව කෙනෙකු නිසා නැති කරගන්නේ? අපිට ලැබුණු මේ මනුෂ්‍ය ජීවිතය අපි අපි වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ. අපි කැමති දේවල් කරන්න, අපිට ආදරය කරන අපි වෙනුවෙන් අපේ ළගින් ඉන්න මිනිස්සු එක්ක ජීවත් වෙන්න පුරුදු වුනාම ජීවිතේ අපි හිතනවාට වඩා ලස්සන වෙනවා.  අපි අපිටම ආදරය කරන්න පටන් ගත්තම අපි වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගත්තම අපේ ජීවිතයට ඉබේම ලස්සන මිනිස්සු , ලස්සන මතක, අත්දැකීම් එකතු වෙනවා. අපි වෙනුවෙන් ජීවත් වෙනවා කියලා කිව්වේ ආත්මාර්ථකාමීව ජීවත් වෙන එකට නම් නෙමෙයි. අපි ගොඩාක් දේවල් ගැන ධනාත්මකව හිතන්න ගත්තොත් ජීවිතේ ලස්සනට විඳින්න අපිටත් පුළුවන්. ජීවිතේ කියන්නේ මොකක් ද කියලා හරියට තේරුම් ගෙන අපි වටේ ඉන්න මිනිස්සු එක්ක ආදරයෙන් සතුටින්  ජීවත් වෙනවා නම් ජීවිතේ ප්‍රශ්න ගොඩාක් අඩුවෙයි. 

ඉතින් යාළුවනේ මේ අදහස  මම දකින දෘෂ්ටිකෝණයෙන් තමයි කිව්වේ. ඔයාලාගෙත් අදහස් පහළින් සඳහන් කරන්න. ඉතින් අපිත් මේ ජීවත්වෙලා ඉන්න ටික කාලයේ ජීවිතේ සංකීර්ණ කරගන්නේ නැතුව එකිනෙකාට උදව් කරගෙන, ගෞරව කරගෙන අපේ ජිවිතේ අපි වෙනුවෙන් ලස්සනට විඳින්න; ජීවත් වෙන්න  උත්සාහ කරමු! 

                                                            - පියුමලි ✍️ - 

Monday, 12 September 2022

සමහර මිනිස්සුත් මැණික් වගේ කවදාවත් වටිනාකම කියලා නිම කරන්න බැරි

 


 ජිවිතයේ වැටෙන දුක්වෙන අනේක වාරයක් පාසා හිතට   හයියක් වෙන්න පුළුවන් ශක්තිමත්ම බැම්ම ඔවුන් සතුය.
 මිලක් නියම කළ නොහැකි යුතුකම් හා වගකීම් රාශියක්   තම දරුවන් වෙනුවෙන් සිදු කරනා ඔවුහු ඔබෙත් මගෙත්   වාසනාවකට හිමි වූ 
 ආදරයේ ප්‍රතිමූර්ති පද්මරාගයන්ම ය! 
 ඉතින් 
 සමහර මිනිස්සුත් මැණික් වගේ
 කවදාවත් වටිනාකම කියලා නිම කරන්න බැරි. 

                                                                 - පියුමලි ✍️ - 

Wednesday, 20 July 2022

සිතුවිලි

 





කෙනෙකු ඔබව ඔහුගේ හෝ ඇයගේ ලෝකයේ එක කොටසක් කරගෙන සිටින විට,
තවත් කෙනෙකුට ඔබව ඔහුගේ හෝ ඇයගේ මුළු ලෝකයම විය හැකිය. 
ප්‍රේමය ලැබෙන සෑම පුද්ගලයෙකුටම එහි නිසි වටිනාකම තේරුම්ගත නොහැකිය. 
ප්‍රේමය කිරීමට වඩා සැබැවින්ම විය යුත්තේ ප්‍රේමය ලැබීම නොවේද? 
මන්ද අප සියල්ලන්ම බලාපොරොත්තු වන්නේ තව කෙනෙකුගේ ප්‍රේමයේ සුන්දරත්වය විඳීමය. 
                                                    
                                                         - පියුමලි ✍️ - 

Tuesday, 1 February 2022

ආශාවක්


කිඳුරු වරලක හිමිකාරියක වී

දිය කිඳුරියක වෙස් ගෙන

මුහුදු පතුලෙහි ගැඹුරටම කාවැදී

සුන්දරත්වය අත් විඳීමට

මටත් තියෙනවා   ආශාවක්

හුදෙක් හීනයක්ම පමණක් වන...


                                                                               - පියුමලි ✍️ - 

Monday, 31 January 2022

කොපි කළ හැකිය; සම කළ නොහැකිය


කොපි කළ හැකි මුත් සම කළ නොහැකිය

මිනිසා උසස් නම් මනසින්

තමන්ගේම පරිකල්පනයක් තිබිය යුතු නොවේ ද?

එසේ තිබේ නම් කොපි කිරීමට ඇති අවශ්‍යතාව  කුමක්ද?

පරිකල්පනයක් නැති තැනැත්තා මිනිසා යන නමට පමණක්
සුදුසු වන්නේ යැයි සිතමි. 

                                                                 -  පියුමලි ✍️ - 

Saturday, 29 January 2022

ජීවිතය


සසර නමැති ගමන් මඟෙහි

එක්තරා නැවතුමකි  ජීවිතය; 

තවත් නැවතුම් රාශියකි ඉදිරියට;

සසර නම් කෙළවරක් නැත 

අවබෝධ කරගන්නා තුරු නිවන;

වැඩිය යුතුය කුසල්

නොපමාව;

යහපත් සසරක් 

උදෙසාම. 

                                                         - පියුමලි ✍️ -


ආදරයේ ප්‍රතිමූර්තිය


ජනනියනි ,

ඉඩෝරයට සිසිලසක් ගෙන එන

මහ වර්ෂාව සේ

නුඹද මගේ දිවියට 

සිසිලසක් ගෙන එන

වර්ෂාවක්ම ය.  

                                                               - පියුමලි ✍️ - 

මායාකාර ඇස්

  + මචං උඹ දන්නවද දෙයක්? - කියන්නකො බලන්න. + සමහර මායාකාර ඇස් තියෙනවා මුළු හිතම නිවන්න පුළුවන්. ඒ ඇස් වෙලාවකට ආදරණීයයි, වෙලාවකට හුරතල් තවත...