Friday, 19 January 2024

මායාකාර ඇස්


 + මචං උඹ දන්නවද දෙයක්?

- කියන්නකො බලන්න.

+ සමහර මායාකාර ඇස් තියෙනවා මුළු හිතම නිවන්න පුළුවන්. ඒ ඇස් වෙලාවකට ආදරණීයයි, වෙලාවකට හුරතල් තවත් වෙලාවකට තරහෙන් ඇස් දෙක දිලිසෙනවා. දුක හිතුනම කඳුළු පුරෝගෙන බලන් ඉන්නවා. ඒ වගේම ඒ ඇස්වලට වෙන කාගෙවත් ඇස්වලට වඩා සමහර හිත්වල හැඟීම් ලස්සනට අවුස්සන්න පුළුවන්.

- හ්ම්...ඉතිං උඹටත් හම්බුනාද එහෙම මායාකාර ඇස් දෙකක්?

+ ඒ වගේ මායාකාර ඇස් දෙකක් විතරක් නෙමෙයි හැමෝම ගැන හිතන කරුණාවන්ත, සංවේදී හදවතක් තියෙන, ටික වෙලාවක් කතා කරත් හිතට සහනයක් දැනෙන, පොඩි ළමයෙක් වගේ හැසිරෙන කෙනෙක් මටත් හම්බුනා.

- මටත් කියන්නකෝ බලන්න ඔයාගේ ඔය හිත නිවන ලස්සන භාවනාව කවුද කියලා.

+ මගේ ජීවිතේ ඒ ලස්සන භාවනාව එහෙමත් නැත්නම් ඒ ලස්සන පුද්ගලයා ඔයා.

- මේ මම??

+ ඔව් ඒ ඔයාම තමයි. ඔයා නොදන්නවා වුනාට ඔයාට ආදරේ කරන ඔයත් ආදරේ කරන මිනිස්සුන්ට අනිවාර්යෙන්ම ඔයාව මට ඔයාව පේනවා වගේ ලස්සනට පේනවා. ඉතින් මාත් මිත්‍රත්වයේ නාමයෙන් ඒ භාවනාව ලස්සනට විඳින එක්තරා කෙනෙක්.

- මේකට ප්‍රතිඋත්තර දෙන්න ඕනේ කොහොමද කියලා මට තේරෙන්නෙත් නැහැ. ඒත් ඔයාගේ ඒ ආදරණීය පැසසීමට මං හරිම ආදරෙයි.

+ ඔයා මගේ ජීවිතේ ඒ පැසසීමට සුදුසු ආදරණීයම කෙනෙක්.

                                                                              - පියූ ✍- 

Thursday, 28 September 2023

හැඟීමක් ළඟ මොහොතක්


මේ ජීවිතේ අපි දවසින් දවස ඉස්සරහට යද්දී විවිධාකාර මිනිස්සු අපිට මුණගැහෙනවා.

එයින් සමහරෙක් අපේ ජීවිතේම කොටසක් වෙලා නවතිද්දි තවත් සමහරෙක් අතරමගදී නවතිනවා.

සමහර මිනිස්සු අපේ ජිවිතේට ලස්සන මතක එකතු කරද්දි තවත් සමහරු අපේ ජීවිතේට අත්දැකීම් ලබා දෙනවා.

ඉතින් මිත්‍රයා, අනිත්  මිනිස්සු කොහොම වුනත් ඔබ ඔවුන්ගේ ජීවිතයේ අමතක නොවන කරුණාවන්ත, ආදරණීය චරිතයක් වන්න. කිසිවිටෙකත් කිසිකෙනෙකුන් නිසා ඔබගේ කරුණාවන්ත, ආදරණීය හදවත තවත් එවැනිම කරුණාවන්ත, ආදරණීය හදවතකට හිමි වීමට තිබෙන අවස්ථාව අහිමි කරගන්න එපා! 

                                                           - පියුමලි ✍️ -

Sunday, 27 August 2023

පණිවුඩය


කාලෙකට පස්සේ ලියන්න හිතුනේ මා හොඳින්ම දන්නා කියන පුද්ගලයෙකුගෙන් ලැබුණු කෙටි පණිවිඩයකින් ඇරඹුණු  සංවාදයක් නිසා.

මෙම පුද්ගලයාගේ පැනය වූයේ තමන් තුළ තියෙන වැරදි පුරුදු කිහිපයක් නැති කරගන්නෙ කොහොමද කියලා. ඔහු සඳහන් කරන ආකාරයට ඔහුගේ එම පුරුදු වැරදි බව ඔහු දන්නා නමුත්  ඔහුට එය නවත්වා ගත නොහැකිය. 

ඒ සම්බන්ධයෙන් මම එම පුද්ගලයාට දුන්න පිළිතුර වන්නේ එම වැරදි පුරුදු වෙනුවට තමා තුළ හොඳ පුරුද්දක් වර්ධනය කරගන්නා ලෙසට වගේම නරක පුරුද්දක් කිරිමෙන් එයින් ඇති වන ප්‍රතිඵලය පිළිබඳ නැවත නැවත සිතා බලන ලෙසයි.

එම පුද්ගලයා නැවතත් පවසන ආකාරයට තමා සතුව තිබෙන වැරදි පුරුදු විශාල වෑයමක් දරා නවත්වා ගන්නා නමුත් එම පුද්ගලයාට එය අපහසුවක් ලෙස දැනෙන බවයි. එමෙන්ම නිවරදි මාර්ගය කුමක්ද යන්නත් සොයා ගැනීමට නොහැකි බව මෙම පුද්ගලයා පවසයි.  

එම පුද්ගලයාගේ එම පැනයට මා විසින් ලබාදුන් පිළිතුර වන්නේ ඔහුට එම වැරදි පුරුද්ද එකවර නතර කිරීමට අවශ්‍ය නොවන බවත් ටිකෙන් ටික එම පුරුද්ද නතර කිරීමට හැකි බවත් ඒ සඳහා තමාගේ මනස පුහුණු කළ යුතු බවයි. එමෙන්ම මා තවදුරටත් එම පුද්ගලයාට සඳහන් කළේ තමාගේ ජීවිතය සම්බන්ධයෙන් තමන් තුළ හොඳ ප්‍රතිපත්තියක් ඇති කරගන්නේ නම් මෙන්ම කිසි විටෙක කිසිම කෙනෙක් නිසා තමාගේ ජීවිතයට හොඳක් වන එම ප්‍රතිපත්ති නැති කරගන්න එපා යනුවෙනි. 

එම පුද්ගලයා නැවත මගෙන් අහනවා එයා ඒ පුරුද්ද මගහැර ගන්න උත්සාහ කරත් එය ස්වභාවික ප්‍රවාහයට විරුද්ධ වීමක් ලෙස හැඟෙන බවයි. 

එයට පිළිතුරු ලෙස මම පැවසූයේ එය එසේනම් එම වැරදි  පුරුද්දට යොමුවීමට පෙර එම පුද්ගලයා තුළ පැවතුණු ස්වාභාවික ප්‍රවාහයට ද එම පුද්ගලයා විරුද්ධ වී ඇති බවයි. එමෙන්ම මා තවදුරටත් එම පුද්ගලයාට සඳහන් කළේ තමා සතුව තිබෙන යම් පුරුද්දක් තමාට අපහසුවක් ගෙන දෙන්නක් නම් සැබැවින්ම එය තමන්ගේ යටි සිත විසින් ප්‍රතික්ෂේප කරන නමුත් උඩු සිත විසින් පිළිගන්නා ආකාරයක මිත්‍යාවක් විය හැකි බවයි. 

ඊළඟට එම පුද්ගලයා මගෙන් අහන්නේ කෙනෙක්ට ආදරේ කරන එක යම්කිසි වෑයමක් දරා කරන්න ඕන දෙයක් ද එහෙමත් නැත්නම් ඒකත් ස්වභාවිකව ඇති වෙන දෙයක් ද කියලා. 

ඒ සම්බන්ධයෙන් මගේ අදහස නම් වුණේ එය ස්වභාවික  ඇති වන්නක් බවයි. 

එම පුද්ගලයාද මාගේ අදහසට එකඟ වූ අතර එම ම පුද්ගලයා අවසාන වශයෙන් පැවසුවේ තමා විසින්ම විසින්ම ඇතැම් ප්‍රශ්න විසඳා ගැනීමට වඩා එයට තවත් කෙනකුගේ දර්ශනයක් එකතු වීම එම ප්‍රශ්නය වඩාත් හොඳින් විසඳාගැනීමට හේතුවක් වන බවයි. 

මෙම සංවාදය හරහා මට ඔයාලට දෙන්න ඕනෙ පණිවිඩය උනේ ලෝකයේ මිනිස්සු ලෝකය දකින්නේ විවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් වුණත් තවත් මනුස්සයෙකුගේ ජීවිතයක් යහපත් ආකාරයෙන් වෙනස් කිරීමට යහපත් සහ ධනාත්මක සිතිවිලි ඇති හොඳ ඇහුම්කන්දෙන්නෙක්ට; දිරිගන්වන්නෙක්ට හැකියාව පවතින බවයි. ඉතින් ඔයාලත් හොඳ ඇහුම්කන්දෙන්නෙක්; දිරිගන්වන්නෙක් වන්න

                                                                  - පියුමලි ✍️ -

Wednesday, 15 March 2023

කැමරිට


-"පියූ උඹ කාලද ඉන්නේ? රෑට කෑම ගත්තද ?රෑ වෙන්න       කලින් කෑම අරගෙන වරෙන් 

- පියූ අද මම උඹේ බෝඩිමට එනවා අපි රෑට හොදට කාලා    ෆිල්ම් එකක බලමු හොදද?

- අනේ බන් පියූ මං ස්පෙෂල් කරන්න ඉදියේ මේ සබ්ජෙක්ට් එක නෙවෙයි බං. උඹ මාත් එක්ක ඉන්නව නේද මට මේක ගොඩදාගන්න උදව් කරනවා නේද?

- පියූ උඹ හොදින් නේද ඇයි අද ලෙක්චර්ස් ආවේ නැත්තේ?

- පියූ උඹ තනියමද යන්නේ ඉදපන් මාත් එන්නම් ජීම්     හන්දිය ළග ඉදපන්

- ඒ බං හෙලබොජුනෙන් කාලා ප්ලේන්ටියක් ගහමු.

- පියු මට අද මාර අවුල් බං උඹව විතරයි මට විශ්වාස කරලා හැමදේම කියන්න පුළුවන්.

- පියූ ආදරෙයි උඹට"

එකී මෙකී කතා, ප්‍රශ්න, දුක, සතුට හැමදේම බෙදාගෙන ආපු අපේ යාළුකමට අවුරුද්දකුත් වෙලා බං. මෙච්චර කාලයක් හිටියා වගේ ඉස්සරහටත් උඹත් එක්ක ඉන්නවා. ගොඩාක් ස්තුතියි මාත් එක්කම ඉන්නවට. මාත්  ආදරෙයි ජායාරූපයේ ඉදිරියෙන්  සිටින කටකාර උඹට.

හොදම විදියට මේක ලියලා නැති වුනත් මේක ලියන්නම ඕන කියලා හිතුනා. ඉතින් මේක ආදරෙන් මගෙන් (ටිටීගෙන්) අපේ ටුටූට❤ 
(දැන් ඉතින් මං ඔයාට ආදරේට කියන නම හැමෝම දන්නවා😁🤭) 

                                                                       - පියුමලි ✍️ -

Wednesday, 18 January 2023

ඔයාත් මෙහෙම කෙනෙක්ද?

 





 ජීවිතේ ගැටගහගන්න දවස තිස්සේ එහාට මෙහාට       දුවනකොට;
ජීවිතේ එපාම කරපු දවස් අස්සේ අමාරුවෙන් හරි  ජීවත් වෙන්න උත්සාහ කරනකොට;
මැරෙන්නම හිතෙන දවස් ජීවිතේට  එනකොට;
එහෙම හිතෙන හැමවෙලාවෙම 
ඔයාත් වචනයකින් හරි තවත් කෙනෙකුට උදව් කරන මනුස්සයෙක් නම් 
තවත් මනුස්සයෙක්ට ඉවසිලිවන්තව ඇහුම්කන් දීලා දිරිමත් කරන මනුස්සයෙක් නම් 
කවුරු ඔයා ගැන ආඩම්බර නොවුනත්,
සතුටු නොවුනත් 
ඔයා ඔයා ගැන ආඩම්බර වෙන්න, 
සතුටු වෙන්න.
මොකද තවත් මනුස්සයෙක්ට ඇහුම්කන්  දීමේ, වචනයකින් හරි උදව් කිරීමේ 
කලාව 
මේ ලෝකයේ හැම මනුස්සයෙක්ටම පිහිටලා නැහැ. 
තමන් ගැන ඒ නිහතමානී ආඩම්බරය, සතුට 
තියාගෙන 
හිතින් වැටෙන හැමවෙලාවෙම, 
ඇහුම්කන් දෙන්න කවුරුත් නැති හැමවෙලාවෙම
ඔයා ඔයාවම මෝටිවේට් කරගන්න. 
ඔයාගේ සතුට තවත් කෙනෙක් මත තියන්නේ නැතුව ඔයාගේ සතුට ඔයාම හොයාගන්න, 
ඔයා ඔයාගේම ඉවසිලිවන්ත ඇහුම්කන්දෙන්නා වෙන්න!
                                                                   
                                                                           - පියුමලි ✍️ - 

Friday, 16 September 2022

ඉතින් අපිත් විඳිමුද ජීවිතේ 😉❤️


ජීවිතේ කියන්නේ අපි විසින්ම සංකීර්ණ කරගත්ත ඒත් අපි හිතනවාට වඩා සරල දෙයක්. කතාවකුත් තියෙනවා නේ ජීවිතේ 10%ක් අපිට වෙන දේවල් සහ 90%ක් අපි ඒ දේවල්වලට ප්‍රතිචාර දක්වන විදියත් කියල. සමහර මිනිස්සු ආදර ප්‍රශ්න නිසා දුක් විඳිනවා, තවත් සමහරු එදිනෙදා ජීවිතේ ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද කියන ගැටළුවට මැදි වෙලා ඉන්නවා. අද නම් මම ලියන්න යන්නේ පළවෙනි කාරණේ ගැන. මට මේක ලියන්න ඕනේ කියලා හිතුනේ මම පෞද්ගලිකව ආශ්‍රය කරන මගේ යාළුහිතමිත්‍රාදීන් මාත් එක්ක බෙදා ගන්න අත්දැකීම් නිසා.

ආදරය කියන්නේ ජීවිතය ඇතුලේ එක කොටසක්. ඒත් අපි අපේ දෙමාපියන්ගෙන් පස්සේ අපේ ජිවිතයට එකතුවෙන විශේෂ චරිතය ඒ කියන්නේ පෙම්වතා හෝ පෙම්වතියගේ ආදරය මතම යැපෙන්න ගන්නවා. ඒ ආදරය අහිමි වුනොත් එදාට ජීවිතය නැති කරගන්න තැනට පත් වෙනවා.
ඒත් අපි හිතන්නේ නැති එක කාරණයක් තමයි ඇයි අපි නැතිව ඒ කෙනාට ඉන්න පුළුවන් නම් අපිට බැරි කියලා. ඇත්තටම මනුෂ්‍ය ජීවිතයක් ලබන්න ලොකු පිනක් කරන්න ඕන කියලා බුදුන් වහන්සේත් දේශනා කරලා තියෙනවා නේ. ඉතින් ඇයි අපි අපේ මේ ජීවිතේ තව කෙනෙකු නිසා නැති කරගන්නේ? අපිට ලැබුණු මේ මනුෂ්‍ය ජීවිතය අපි අපි වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ. අපි කැමති දේවල් කරන්න, අපිට ආදරය කරන අපි වෙනුවෙන් අපේ ළගින් ඉන්න මිනිස්සු එක්ක ජීවත් වෙන්න පුරුදු වුනාම ජීවිතේ අපි හිතනවාට වඩා ලස්සන වෙනවා.  අපි අපිටම ආදරය කරන්න පටන් ගත්තම අපි වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගත්තම අපේ ජීවිතයට ඉබේම ලස්සන මිනිස්සු , ලස්සන මතක, අත්දැකීම් එකතු වෙනවා. අපි වෙනුවෙන් ජීවත් වෙනවා කියලා කිව්වේ ආත්මාර්ථකාමීව ජීවත් වෙන එකට නම් නෙමෙයි. අපි ගොඩාක් දේවල් ගැන ධනාත්මකව හිතන්න ගත්තොත් ජීවිතේ ලස්සනට විඳින්න අපිටත් පුළුවන්. ජීවිතේ කියන්නේ මොකක් ද කියලා හරියට තේරුම් ගෙන අපි වටේ ඉන්න මිනිස්සු එක්ක ආදරයෙන් සතුටින්  ජීවත් වෙනවා නම් ජීවිතේ ප්‍රශ්න ගොඩාක් අඩුවෙයි. 

ඉතින් යාළුවනේ මේ අදහස  මම දකින දෘෂ්ටිකෝණයෙන් තමයි කිව්වේ. ඔයාලාගෙත් අදහස් පහළින් සඳහන් කරන්න. ඉතින් අපිත් මේ ජීවත්වෙලා ඉන්න ටික කාලයේ ජීවිතේ සංකීර්ණ කරගන්නේ නැතුව එකිනෙකාට උදව් කරගෙන, ගෞරව කරගෙන අපේ ජිවිතේ අපි වෙනුවෙන් ලස්සනට විඳින්න; ජීවත් වෙන්න  උත්සාහ කරමු! 

                                                            - පියුමලි ✍️ - 

Monday, 12 September 2022

සමහර මිනිස්සුත් මැණික් වගේ කවදාවත් වටිනාකම කියලා නිම කරන්න බැරි

 


 ජිවිතයේ වැටෙන දුක්වෙන අනේක වාරයක් පාසා හිතට   හයියක් වෙන්න පුළුවන් ශක්තිමත්ම බැම්ම ඔවුන් සතුය.
 මිලක් නියම කළ නොහැකි යුතුකම් හා වගකීම් රාශියක්   තම දරුවන් වෙනුවෙන් සිදු කරනා ඔවුහු ඔබෙත් මගෙත්   වාසනාවකට හිමි වූ 
 ආදරයේ ප්‍රතිමූර්ති පද්මරාගයන්ම ය! 
 ඉතින් 
 සමහර මිනිස්සුත් මැණික් වගේ
 කවදාවත් වටිනාකම කියලා නිම කරන්න බැරි. 

                                                                 - පියුමලි ✍️ - 

Wednesday, 20 July 2022

සිතුවිලි

 





කෙනෙකු ඔබව ඔහුගේ හෝ ඇයගේ ලෝකයේ එක කොටසක් කරගෙන සිටින විට,
තවත් කෙනෙකුට ඔබව ඔහුගේ හෝ ඇයගේ මුළු ලෝකයම විය හැකිය. 
ප්‍රේමය ලැබෙන සෑම පුද්ගලයෙකුටම එහි නිසි වටිනාකම තේරුම්ගත නොහැකිය. 
ප්‍රේමය කිරීමට වඩා සැබැවින්ම විය යුත්තේ ප්‍රේමය ලැබීම නොවේද? 
මන්ද අප සියල්ලන්ම බලාපොරොත්තු වන්නේ තව කෙනෙකුගේ ප්‍රේමයේ සුන්දරත්වය විඳීමය. 
                                                    
                                                         - පියුමලි ✍️ - 

Tuesday, 1 February 2022

ආශාවක්


කිඳුරු වරලක හිමිකාරියක වී

දිය කිඳුරියක වෙස් ගෙන

මුහුදු පතුලෙහි ගැඹුරටම කාවැදී

සුන්දරත්වය අත් විඳීමට

මටත් තියෙනවා   ආශාවක්

හුදෙක් හීනයක්ම පමණක් වන...


                                                                               - පියුමලි ✍️ - 

Monday, 31 January 2022

කොපි කළ හැකිය; සම කළ නොහැකිය


කොපි කළ හැකි මුත් සම කළ නොහැකිය

මිනිසා උසස් නම් මනසින්

තමන්ගේම පරිකල්පනයක් තිබිය යුතු නොවේ ද?

එසේ තිබේ නම් කොපි කිරීමට ඇති අවශ්‍යතාව  කුමක්ද?

පරිකල්පනයක් නැති තැනැත්තා මිනිසා යන නමට පමණක්
සුදුසු වන්නේ යැයි සිතමි. 

                                                                 -  පියුමලි ✍️

Saturday, 29 January 2022

ජීවිතය


සසර නමැති ගමන් මඟෙහි

එක්තරා නැවතුමකි  ජීවිතය; 

තවත් නැවතුම් රාශියකි ඉදිරියට;

සසර නම් කෙළවරක් නැත 

අවබෝධ කරගන්නා තුරු නිවන;

වැඩිය යුතුය කුසල්

නොපමාව;

යහපත් සසරක් 

උදෙසාම. 

                                                         - පියුමලි ✍️ -


ආදරයේ ප්‍රතිමූර්තිය


ජනනියනි ,

ඉඩෝරයට සිසිලසක් ගෙන එන

මහ වර්ෂාව සේ

නුඹද මගේ දිවියට 

සිසිලසක් ගෙන එන

වර්ෂාවක්ම ය.  

                                                               - පියුමලි ✍️ - 

සිතන්නට යමක්


විදුලිය නොමැති

ආහාර ද හිඟ 

දුර්භික්ෂ යුගයකට නැවත පිය නගන්නට 

සිදුවන අද වැනි දිනයක

උගත් පරම්පරාවකට 

රටෙහි දියුණුව උදෙසා කටයුතු කිරීමට

 අතහිත දිය යුතු

කාලයකි  එළඹ තිබෙන්නේ.

                                                      - පියුමලි ✍️ - 

බියුටිකචල්


රතු කර තොල් ලේ උරාබොන 

ඩ්‍රැකියුලෙකුගේ සේ; 

උලා සායම් මුළු මුහුණෙහිම 

ජපන් අභිසරුලියක සේ; 

කැරලි කර කොණ්ඩය 

ක්ෂණික නූඩ්ල්ස් සේ; 

පෙර පෙනුම මොහොතකින් වෙනස් කරන 

මෙය නම්

බියුටිකචල්ම ය. 

                                                          - පියුමලි ✍️ - 

සහෝදර පෙම

 


ගහ මරා ගත්තද

සැමවිට 

එකාට එකා නැතිවම බැරි 

ලොව ඇති

ආදරණීයම බැඳීමකි

සහෝදර පෙම.  

                                                           - පියුමලි ✍️ - 

මැහුම්

 


නූල් පටකින් 

මල්, සත්තු , මිනිස්සු 

මෝස්තර කරනා 

සුන්දර කලාවකි

මැහුම්. 

                                                           - පියුමලි ✍️ - 

ඇස්

 


වචනයෙන් කිව නොහැකි 

හැඟීම් සමුදායක් 

එකට කැටි කොට

එකම බැල්මකින් කිව හැකි

පුදුම විශ්මයජනක 

ආකර්ෂණයකි

මේ  ඇස්. 

                                                     - පියුමලි ✍️ - 

කළු යුවතිය

 


පැහැය නම් නැත 

සුදට සුදේ ,

ඇත කලු පාටක් 

ඔපදමන ලද මැණිකක් මෙන් දිලිසෙන,

සුන්දර නම් නොවිය හැක

සුදු යුවතියක සේ, 

එනමුත් කළු පැහැයට ද ඇත

ලොවක් වසඟ කරන ලස්සනක් 

                                                          - පියුමලි ✍️ - 


Friday, 28 January 2022

චිත්‍ර

 


නව ලොවකට මනස මෙහෙයවන 

එකිනෙකට වෙනස් වෙනස් රටා මවන

හැටි 

හරි අපූරු ය

තෙලි තුඩක අසිරිය !

                                                              - පියුමලි ✍️ - 



Thursday, 27 January 2022

අභිනික්මන

 


දැක්කෙමි සසර පෙර නිමිති,

වටහා ගත්තෙමි සසර නම් දුකක්ම බව,

පාදා ගත්තෙමි සසරෙන් මිදීමේ මඟක්,

හැරයන්නට සිදුවෙමි සියලු සහෘදයන්,

ඉතින් එබැවින් අභිනික්මන් කරන්නෙමි ලොව සත්ත්වයා උදෙසාම.

                                                                    - පියුමලි ✍️-

මායාකාර ඇස්

  + මචං උඹ දන්නවද දෙයක්? - කියන්නකො බලන්න. + සමහර මායාකාර ඇස් තියෙනවා මුළු හිතම නිවන්න පුළුවන්. ඒ ඇස් වෙලාවකට ආදරණීයයි, වෙලාවකට හුරතල් තවත...